කැප්පෙටිපොල නගරයේ පිහිටි ඉපැරණි බලකොටුවක් බදු සුවිසල් අශ්ව ගාල නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශයට පත් වෙමින් පවතී.
1816 දී පමණ ඌව වෙල්ලස්ස විමුක්ති අරගලය මර්ධනය කිරීමේ අරමුණින් ඉංග්රීසින්ගේ අශ්වාරෝහක හමුදාව ස්ථාපිත කිරීම සදහා මෙම අශ්ව ගාල නිර්මාණය කර ඇතැයි කියවේ. දිගින් අඩි 100 ක් පමණ වන අතර පළලින් අඩි 50 කි. උස අඩි 15 ක් පමණ වන අතර අඩි 3ක් පමණ ඝණකම බිත්ති කළු ගලින් නිමවා තිබේ. අශ්ව ගාලට ඇතුළු වීමට අඩි 09 ක් පමණ උස ආරුක්කු හැඩති දොරටුවකි.
ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයේදී විමුක්ති කාමීන් අතින් ජීවිතක්ෂයට පත්වූ බදුල්ල උප දිසාපති වරයා වූ ඉංග්‍රීසි ජාතික ඩග්ලස් විල්සන් නැමැත්තා අතින් මෙම ඉපැරණි අශ්වගාල ඉදි කර ඇතැයි වාර්තා වේ.
මේ වන විට බලකොටුවේ ඝණකම බිත්ති පුපුරා තිබේ. බදාම ගැලවී ගොසිනි. එක් පසක සුවිසල් බිත්තිය ඇල වී කඩා වැටීමේ තත්වයක් උද්ගත වී තිබේ. ඓතිහාසික වටිනාකමක් ඇති මෙම පුරා විද්‍යාත්මක ස්ථානය සංරක්ෂණය කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව ඇතැයි ප්‍රෙද්ශවාසීහු කියති.